අත් බේත්

  • 0
  • 1 year ago
  • Views : 155
  • ID : #7617

Description

? අත් බෙහෙත් කතාව ලෝකය පුරා පුරාතනයේ සිට පැවත එන විකල්ප වෛද්‍යක්‍රම රාශියක් පවතී. ඒ ඒ රටවල ඔවුනොවුන් ගේ පරිසරය අනුව මේ වෛද්‍යක්‍රම බද්ධ ව පවතින බව පැහැදිළි ය. ඖෂධීය පැළෑටි විවිධත්වය අඩු තිබ්බතය වැනි රටවල් මෙහිදී කුමක් කරන්නේ දැයි ඔබට විමතියක් ඇති විය හැකි ය. තිබ්බතයේ වෛද්‍යවරු වශයෙන් බහුලව කටයුතු කරන්නේ තන්ත්‍රයානික බෞද්ධ භික්ෂූන් වහන්සේ ය. ඔවුන් භාවිතා කරන වෛද්‍යය ක්‍රමය මිනිසා කෙරෙහි වූ මහාකරුණාවෙන් බුදුන් වහන්සේ විසින් ම දායාද කළ බව ඔවුන් ගේ විශ්වාසය යි. තිබ්බතීය වෛද්‍යය භික්ෂූන් වහන්සේ ඖෂධීය පැළෑටි මෙන් ම බොහෝ ඛනිජ ද්‍රව්‍යය ද භාවනාමය සුව කිරීමේ ශක්තිය ද රෝගීන් සඳහා යොදා ගැනීම දැකිය හැකි වේ. ශරීරයෙන් විහිදෙන රශ්මි මාලාව භාවනාමය ඇසින් දකින්නට ද ඒ අනුව රෝග සඳහා පිළියම් යොදන්නට ද ඔවුන් දක්ෂ බව ඒ පිළිබඳ ව ගොඩනැඟී ඇති සාහිත්‍යය තුළ දැකිය හැකි වේ. ලොව පුරා ආන්දෝලනාත්මක ලේකඛයකු වූ ලොබ්සාම් රම්පා ( හෙන්රි හොස්කින් ) නැමැති තිබ්බතීය භික්ෂුව ද වෛද්‍යය භික්ෂුවකි. ලෙඩ රෝග සුව කිරීම පිළිබඳ අවධානය බොහෝ ආගම් තුළ දැකිය හැකි වේ. ලෙඩ සුව කිරීම පිළිබඳ ශක්තිය සම්බන්ධ විශ්වාසය ජනකාන්ත වූවකි. මේ නිසා ජේසුස් වහන්සේ වැනි ශාස්තෘෘවරුන් වහන්සේලා ගේ ලෙඩ සුව කිරීම පිළිබඳ ව නොයෙකුත් සාහිත්‍යමය තොරතුරු ඒ ඒ ආගමික ග්‍රන්ථ තුළ දැකි ය හැකි ය. ලෙඩ රෝග වලින් පෙළීම මිනිසා ට කෙතරම් පීඩාවක් ද යන්න ද සුවපත් වීම කෙතරම් සහනයක් යන්න ද එයින් අනෙක් අතට ගම්‍යය වන සත්‍යය වේ. දැනට යම් කාලයක ට පෙර ලංකා වැසියන් බොහෝ දෙනා අත් බෙහෙත් පිළිබඳ ව දැන සිටි බව අප කවුරුත් දන්නා කරුණකි. රොබට් නොක්ස් ගේ කෘතිය අනුව සෑම සිංහල මිනිසෙකු ම වෙදෙකි. එහිදී නොක්ස් අදහස් කළේ පැරණි සිංහල මිනිසුන් සෑම දෙනා ම පාහේ අත් බෙහෙත් ආදිය පිළිබඳ ව හසල දැනුමකින් යුක්ත වූ බව යි. මෙම තත්වය යුරෝපයට ද පොදු වූ කාලයක් තිබුන ද මධ්‍යතන යුගයේ යුරෝපයෙහි සිදු වූ මායාකාරියන් දඩයම වැනි භීෂණ යුගවලින් පසු එය බෙහෙවින් විනාශයට පත් ව අද අපට දැකිය හැකි බටහිර පන්නයේ නූතන වෙළඳ වෛද්‍යය ක්‍රමයට අවස්ථාව ලැබිණි. නමුත් ලෝකයේ අද වන විටත් බොහෝ රටවල ඔවුනොවුන්ට අනන්‍යය වූ අත්බෙහෙත් සංස්කෘතියක් දැකිය හැකි වේ. එක් ලිපියක් ඔස්සේ දැනට අප සතු අත් බෙහෙත් පිළිබඳ සියලු තොරතුරු ඉදිරිපත් කළ නොහැකි ය. අත්බෙහෙත් පිළිබඳ ව ඇති තොරතුරු ප්‍රමාණය පවා එතරම් ම වේ. මේ නිසා තෝරාගත් අත්බෙහෙත් යම් ප්‍රමාණයක් මෙම සාකච්ඡාවට උදාහරණ ලෙස පහතින් දක්වමි. මෙම අත්බෙහෙත් තෝරා ගැනීමේදී දරුවන් උදෙසා සිදු කරන අදාල සන්දර්භය පිළිබඳ ව විශේෂ සැලකිල්ලක් දක්වා ඇත. 1. දුර්වල ශරීර ඇති ළමුන් ට ශරීර ශක්තිය පිණිස - වැල් මී වියළා කුඩු කොට එය කිතුල් හකුරු සහ මී පැණි සමඟ දමා කෑමට දෙන්න. 2. දුර්වල ශරීර ඇති ළමුන් ට තල සහ වියළා ගත් නෙළුම් කොළ කොටා අග්ගලා සමඟ මිශ්‍ර කර දීම ද ගුණ යි. 3. වාහනයක ගමන් කිරීමේදී වමනය යන අයට - නිදිකුම්බා මුලක් ගෙන විකමින් යන්න. 4. උකුණන් සඳහා - වෙරළු කොළ ඉස්ම හිස ගල්වා පැයක් පමණ හිඳ සෝදා හරින්න. දින කිහිපයක් කරන්න. 5. උඳුගොව්වා කෑමට - නියඟලා අල දෙහි ඇඹුලි්න් අඹරා ගාන්න. 6. ඉස්හොරි සඳහා - ගොඩපර දෙහි ගැට සමඟ කොටා හිසේ ගා පැය භාගයකට පසු නාන්න. 7. කැස්සට - පිරිපහදු නොකළ මී පැණි වරකට තේ හැන්දක් පමණ වරින් වර ගිලින්න. 8. කුඩා දරුවන්ගේ හතියට - කොතඹුරු පිටි ( කොත්තමල්ලි ) හාල් පානු වතුරෙන් සීනි දමා දෙන්න. 9. බිලිඳුන්ගේ කිරි වමනයට - කබලේ බැද ගත් අබ සවිඳ ලුණු සමඟ මී පැණියෙන් අඹරා දිවේ ගාන්න. 10. ළමයින් ගේ පණු අමාරුවට - එරබදු දළු සම්බෝලය දෙන්න. 11. ඇස කෙවෙනවාට - කූරතම්පලා මුලක් ගෙන විනාඩි දහයක් පමණ විකන්න. 12. ඇසට වැලි කැටයක් ගිය විට - ඇස ඇල්ලීමෙන් පොඩි කිරීමෙන් වළකින්න. සුළු නයි කොළ අමු කහ සමඟ කොටා විරුද්ධ පැත්තෙහි පාදයේ මාපට ඇඟිල්ල හොඳින් පිරිසිදු කොට එහි තබා බඳින්න. 13. පොත් බැලීම් ආදියෙන් ඇස් පෙනීම දුර්වල වූ විට - හාතාවාරිය අල ගෙන එහි යට ඇති මුල් කොටස ඉවත් කර රැගෙන පිරිසිදු එළකිරිවලට දමා තම්බා පෙරහන් කඩෙක ලා මිරිකා ගත් කිරි උදේ වරු තුනක් පානය කරන්න. මේ ප්‍රතිකාරය කරන විට සවසට නෑමෙන් වළකින්න. 14. දත් කැක්කුමට - අබ තෙල් වලට ලුණු දමා කට සෝදන්න. කුඹුරු දළු දෙහි ඇඹුලින් අඹරා දත මුල තබන්න. 15. බඩ පුරවා දමා උගුරට ඒමට - බෙහෙත් අනෝදා කොළ තම්බා ගත් වතුර කිතුල් හකුරු සමඟ දවසට කිහිප විටක් දෙන්න. කෑමෙන් පසු ව නෙළුම් ඇට සහ නාමල් රේණු සමඟ සූදුරු කුඩු කර තම්බා මී පැණි සමඟ තේ හැන්දක් දෙන්න. 16. බඩේ අජීර්ණයට - අර්තපල් අල තම්බා දෙන්න. ඇම්බුම් හෝ ආනමාලු කෙසෙල් දෙන්න. 17. බඩේ කොරයට - සුදු ලූණු, පොල්පලා දෙවර්ගය ම තම්බා උදේ සවස බොන්න. ඔලිඳ කොළ එළකිරෙන් අඹරා පැලැස්තර දමන්න. 18. බඩේ දැවිල්ලට - බුළු ඇට තැම්බූ වතුර බොන්න. 19. වණ වලට - ඉටි හල් දුම්මල, විෂමාරණය කර ගත් පල්මාණික්කම්, බිත්තර කටු. මී පැණි, ගිතෙල් යන මේවා මිශ්‍ර කර යොදන්න. 20. මූත්‍රා දැවිල්ට - තැඹිලි දියට රතු ළූණු ගෙඩියක් කපා දමා දෙන්න. 21. කුෂ්ට වලට - නිදි කුම්බා, විළඳවැන්න, පින්න කොළ ටික ටික ගෙන තම්බා සෝදන්න. 22. දදයට - ඇහැළ දළු විනාකිරෙන් අඹරා ගාන්න. 23. සමේ කොරළ පිපෙනවාට - අලිපේර මදය පොල් තෙල් සමඟ මිශ්‍ර කර ආලේප කර පැයකින් සෝදා හරින්න. 24. නින්ද නොයාමට - එරබදු කොළ යුෂ මේස හැන්දක් මී පැණියෙන් බොන්න. 25. සතුන්ගේ තුවාල වලට - අඩියක පමණ වල් හබරල පිත්තක් ද විට කන හුණු ටිකක් ද ලුණු සහ අමු ගම්මිරිස් ඇට ද ගෙන කොටා එම ඉස්ම ආලේප කරන්න. 26. නිදි උළුක්කුවට - මී තෙල් ගා උණු බත් පොට්ටනියෙන් තවන්න. අත් බෙහෙත් කිරීම කල්පනාකාරීව සිදු කළ යුතු වේ. අත්බෙහෙතින් පමණක් ඇතැම් රෝග සඳහා පිළියම් කරමින් කල් ගත නොකළ යුතු ය. අනෙක් අතට අත් බෙහෙත් පොත් ආදිය ද අද කාලයේ පහසුවෙන් සපයා ගත හැකි වන්නාක් මෙන් ම සමාජජාලා ඔස්සේ ද බෙහෙත් සහ ප්‍රතිකාර පිළිබඳ ව නොදන්නා පුද්ගලයන් පොතකින් හෝ වෙනත් එබඳුම කෙනෙකු බෙදා ගත් අදහසක් අනුව යමින් අත් බෙහෙත් පිළිබඳ ව ප්‍රකාශ නිකුත් කරනු දැකිය හැකි ය. අත් බෙහෙත් කිරීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය උදාහරණයකින් පැහැදිළි කර ගත හැකි ය. යම් අයෙකුට හිස රදය හිසේ තද බල උෂ්ණය නිසා ඇති විය හැකි ය. තවත් අයෙකුට අධිකතර සෙම නිසා ඇති විය හැකි ය. මේ අනුව සෙම් රෝගියා අත් බෙහෙතක් ලෙස නොදැනුවත් ව අධිකතර ශීතල බෙහෙතක් භාවිතා කළ හොත් සෙම් අමාරුව තවත් උත්සන්න වනු ඇත. මෑතකදී සිදු වූ පාවට්ටා සිද්ධිය එවැන්නකි. එක්තරා ව්‍යාජ වෛද්‍යවරයකු පාවට්ටා යොදා ගනිමින් කොරෝනා සඳහා හොඳ බෙහෙතක් යැයි බෙහෙතක් සාදා සමාජමාධ්‍යය ඔස්සේ තමාට අලෙවි ප්‍රවර්ධන දැන්වීමක් ප්‍රචාරය කළ අතර එය අනුව යමින් බොහෝ දෙනෙක් පාවට්ටා පැණි ආදිය සෙවූ හ. පාවට්ටා ගල් පීනස වැනි අවස්ථාවන්ට සුදුසු වුව ද සෙම වැගිරෙන ඇතැම් අවස්ථාවලදී නුසුදුසු ය. මේ නිසා දේශීය අත් බෙහෙත් වුව ද භාවිතයේ දී ඒ පිළිබඳ ව යම් දැනුවත් භාවයක් තිබිය යුතු වේ. දේශීය බෙහෙත් තුළ අතුරු ආබාධ කිසිවෙක් නැත වැනි ජනකාන්ත මිථ්‍යා මත ඇත. මේ නිසා තමන් වෙදකම පිළිබඳ ව පරිචයකින් යුක්ත නොවන්නේ නම් අත් බෙහෙතක් වුව ද එබඳු පරිචයකින් යුතු දේශීය වෛද්‍යවරයකුගේ උපදෙස් ද සැලකිල්ලට ගෙන සිදු කරන මෙන් විශේෂයෙන් ඉල්ලා සිටිමි.

1114