හෙණරාජ කසාය

  • 0
  • 1 year ago
  • Views : 584
  • ID : #4848

Description

? හෙණරාජ කසාය සහ එහි භාවිතය ලංකාවේ පාරම්පරික වෙදකම තුළ භාවිතා වන සුවිශේෂී කසාය වර්ග ගණනාවකි. ඒ අතරින් විනරාජ කසාය, හෙණරාජ කසාය, මහාකෝල කසාය වැනි ගැමි සංස්කෘතික විශ්වාස හා බැඳුනු කසාය වර්ග කිහිපයක් තිබේ. මේ ඇතැම් කසාය වර්ග වස විස සහිත ආහාරපාන නිරතුරුව ගන්නා නූතන ලාංකේය ප්‍රජාවට ඉතා ම වැදගත් වනු ඇත. මේ සම්බන්ධව ලිපි දෙකක් ලියන්නට අදහස් කරන අතර මේ ඉන් පළමුවැන්න යි. ______________________________ හෙණරාජ කසාය වැනි කසාය වර්ග පාරම්පරිකව පැවත එන කසාය වර්ග බැවින් ඒ පිළිබඳව සවිස්තරාත්මක දැනුමක් ලබා ගැනීම පොදුවේ පර්යේෂකයන් ට පවා අපහසු වී ඇත. මෙවැනි කසාය වල මූලිකම අභිප්‍රාය නම් ශරීරයට පත්තියං ව ඇති වස විස ඉවත් කිරීම යි. ඒ අතර වින දෝෂ සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කර ඇත. විනරාජ කසායට වඩා හෙණරාජ කසාය මත්පැන් පානය, බුලත් විට කෑම වැනි අහිතකර පුරුදු ඇති අයට කැවුණු ජීවම් කර ලබා දුන් වින දෝස ඉවත් කිරීමට සුදුසු බවට පුරාතන ගැමියන් අතර විශ්වාසයක් විය. _______________________________ පූර්ව ප්‍රතිකාර මෙවැනි කසාය එක වරම ආතුරයාට ලබා දීමක් සිදු ‌කරන්න‌ේ නැත. පළමුව රෝගියා හොඳින් පරීක්ෂා කර බලා සුදුසු පරිදි විරේක කර විශේෂයෙන් ම අක්මාවේ තත්වයට අනුව යම් ප්‍රතිකාර පන්තියක් කිරීම මූලිකව සිදු කළ යුතු ය. ඉන්පසු ව ශාන්තිකර්ම පද්ධතියකට සමගාමීව කසාය ලබා දේ. ඇතැම් ආතුරයන් සඳහා මාස හතරක පමණ කාලයක් පූර්ව වෙෙද්‍යය කර්ම සඳහා වැය වේ. _______________________________ ආදර්ශ වට්ට‌ෝරුවක් පරම්පරාවෙන් පරම්පරාවට මෙම කසාය සම්බන්ධ වට්ටෝරුවල යම් වෙනස්කම් පවතී. මේ අත්දුටු වට්ටෝරුවකි. මෙම පන්නයේ කසාය සකස් කිරීමේදී අමු බෙහෙත් සපයා ගත යුතු ය. කීකිරිඳිය, මුකුණුවැන්න, සාරණ, රසකිඳ, රසඔලිඳ, දියහබරල, හාතාවාරිය, කරල්සැබෝ, දිවිපහුරු, මදුරු, ඉරිවේරිය, සප්සඳ, ඉරමුසු, කලාඳුරු, සැවැන්දරා, දුම්මෑල්ල, හීන් උඳුපියලිය, තුඹ, කුප්පමේනියා, එළබටු, කිරිඅඟුන, ඉඳිබඩ, නෙළුම් අල සමඟ බිංකොහොඹ යුෂ පත බැගින් ගත යුතු ය. ඉන්පසුව වැටකේ යුෂ මනා එක යි, දෙහි ඇඹුල් මනා එක යි, උක් පැණි පත යි, මී පැණි පතයි, එළකිරි නැලිය යි, සියඹලා ඇඹුල් මනා එක යි, තෙලිජ්ජ නැලියයි, රා නැලිය යි, කිතුල් පැණි මනා එක යි, අරක්කු කලඳයි යන මෙවා ද ගත යුතු යි. එම මිශ්‍රණයට දෙදුරු, අසමෝදගම්, තිප්පිලි, පෙරුම්කායම්, ගල්මද, ගල්නහර, අබිං, සීනක්කාරම්, සුවසලුණු, බළල්ලුණු, යවකාර ලුණු, සවිඳ ලුණු, වැල්මී, කොට්ටන්, යහුණු, යබොර, යන මේවා සිහින් ව තලා කුඩු කර කෂායට යොදා තල තෙලින් පෙරා වත් කර සැළියට කඩවැස්ම මැට්ටෙන් බැඳ දවස් හතක් වන්නට වළලා තබා ඒ මත ලිප් බැඳ ගිණි ලා හීත වන්නට තබා ගෙන උදේ හවස පත බැගින් පානය කළ යුතු යි. මෙහි අනුපානයන් රෝගියා අනුව ගත යුතු ය. අණ්ඩවායු ආදී නොයෙකුත් වාත ද‌ෝෂයන්ට ද ගිනියමට ද බොහෝ ගුණ දෙන කසායක් වන මෙය පානය කිරීමෙන් පසු ව මත් පැනට ඇබ්බැහි වූවන් එයින් දුරස් වන බව ද පෙනෙන්නට තිබේ. ______________________________ මෙම කසාය සඳහා ඖෂධ නෙලීමේදී නැකත් පිළිබඳ ව සැලකිලිමත් වීමත් කසාය ලිප් තැබීම ආදී කටයුතු පුර පක්ෂයේදී සිදු කිරීමත් විශේෂ කාරණා වේ. කසාය සම්පාදනය කරන අතරතුර දී ජීවම් කිරීම ද සිදු වේ. ජීවම සඳහා ඇතැම් වෙද පරපුරු මන්ත්‍ර යොදා ගන්නා අතර ඇතැම් වෙද පරපුරු රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය ආදී පිරිත් භාවිතා කරනු ද දැකිය හැකි ය. _______________________________ මෙම කසාය සම්බන්ධව මට පැවසීමට ඉතා ම වැදගත් කරුණක් ඇත. පාරම්පරික ක්‍රමයේදී ඇතැම් පරම්පරා අතර පවතින විශ්වාසයක් නම් යම් රෝගයක් සුවපත් වීමට රෝගියා ගේ රෝග නිදානයේ මුල් අවස්ථාවේ සිට දෙගුණයක් වන සේ කාලය ගෙන බෙහෙත් කළ යුතු බව යි. මෙවැනි කසාය යෙදීම් මඟින් එම කාල පරතරය බෙහෙවින් ම අඩු කර ගත හැකි ය. අනෙක් අතට මෙවැනි කසාය පන්තියක් භාවිතා කළ පුද්ගලයකු ග‌ේ සිරුර කෙතරම් ශෝධනය වන්නේ ද කිවහොත් රෝග සුවයට අමතර ව කාන්තිමත් බව ද ආකර්ෂණ ශක්තිය ද වැඩි දියුණු වේ. මේ නිසා ද‌ේශීය වෛද්‍යවරුන් අද වැනි කාලයකට මෙවැනි ප්‍රතිකාර සඳහා අවධානය යොමු කිරීම වැදගත් වනු ඇතැයි සිතමි.

1114