අස්ථි කාට්ලේජ සම්බන්ධ රෝග

  • 0
  • 1 year ago
  • Views : 292
  • ID : #4238

Description

? දණහිස් ආබාධ සඳහා දේශීය පිළියම් පසුගිය දිනෙක මා හිතවත් වයසක අම්මා කෙනෙක් හමු උනා. ඇය දණහිස් ආබාධයකින් පෙළෙන බවත් ඒ සඳහා බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර ස්ථාන ගණනාවකින් සිදු කළ ද සහනයක් නැති බවත් දැන ගන්නට ලැබුනා. ඇය ඇතැම් විට බොහෝ දුර බැහැර ගොස් අසාර්ථක ප්‍රතිකාර ලබා ගෙන තිබුනා. මේ වන විට ඇය ඒ සඳහා පෞද්ගලිකව භෞත චිකිත්සක ප්‍රතිකාර ලබන අතර ඇයට එයින් ද සහනයක් ලැබී ඇති බවක් පෙනුනේ නෑ. ඇත්තෙන් ම දණහිස් ආබාධ සඳහා මේ තරම් පීඩා විඳිය යුතු නැහැ. දණහිස් අමාරුව අද ගොඩක් අයට තියෙනවා. මේ සඳහා ‌පොදුවේ බලපවත්වන හ‌ේතු අතර අධික තරබාරු බව, අක්මාවේ ආබාධ, නිසි ව්‍යයායාම් නොමැති බව, නාගරික කාන්තාවන් කැල්සියම් බාහිරින් ඖෂධ වශයෙන් ගැනීම ආදිය තිබෙනවා. අවාසනාවකට පහසුවෙන් ද‌ේශීය ඖෂධ මඟින් දණහිස් අමාරු සඳහා අත්දුටු ප්‍රතිකාර තිබුනද බොහෝ දෙනා ඒ පිළිබඳ ව නොදැනුවත් කම නිසා පීඩා විඳිනවා. විධිමත් ද‌ේශීය ප්‍රතිකාරය මඟින් බොහෝ අයට සැත්කමක් මඟින් කෘතිම දණහිසක් ‌නොයොදා ම සුව කර ගන්නට අවස්ථාව තිබෙනවා. පළමුව දණහිස ආශ්‍රිත වේදනා සඳහා ආලේප වශයෙන් දේශීය ‌තෙල් ගල්වන්නේ නම් ශූලහර ‌තෙල් සහ ලශුනේරණ්ඩ තෙල් හැර වෙනත් තෙල් නිසි වෛද්‍යය උපදේශයකින් තොරව ගල්වන්න එපා. එහිදී පළමුව ශූලහර තෙල් උඩ අතට ආලේප කර ඒ මත ලශුනේරණ්ඩ තෙල් යෙදිය යුතු යි. මේ තෙල් දෙවර්ගය ගැල්වීමෙන් පමණක් වුව ද දණහිස් වේදනා සෑහෙන දුරකට සමනය කර ගත හැකි යි. දණහිසට යෙදිය හැකි සරල පත්තු කිහිපයක් ම තියෙනවා. තිරැස්සවාලු, කැකුළු සහල්, වැල්මදට සමඟ සුදු ලූණු සමසේ ගෙන සිහින් වන්නට අඹරා දණහිසේ ආලේප කිරීම තදබල දණහිස් වේදනා සඳහා යොදා ගත හැකි අත්දුටු පත්තුවක්. මේ පත්තුවට පෙර තෙල් සාත්තු යෙදීම අත්‍යාවශ්‍යය නැහැ. ඉදිමුම් සහිත අවස්ථා වලදී පහත මැල්ලුමද සාර්ථකයි. හීරුස්ස පලු, දලුක්, සුදු ළූණු, අබ, වියළි ඉඟුරු සමඟ මේරූ පොල් රොඩු කොටා මලවා උණු කළ කාඩි දියෙන් දණහිස සෝදා මැල්ලුම බඳින්න. කැටකෑල පොතු පත්තුව ද දණහිස් ගෙවීම් ආදී අවස්ථාවල තෙල් සාත්තුවට අනතුරුව යෙදිය හැකි ය. මෙය පැය විසි හතරක් වැනි දීර්ඝ වේලාවක් වුව ද යෙදිය හැකි පත්තුවක්. කැටකෑල පොතු පත්තුව සෑදිය හැකි ආකාර ගණනාවක් තිබෙනවා. දණහිස් ප්‍රතිකාර සඳහා පවනේ වේලා ගත් කැට කෑල‌ පොතු යුෂය කකාරා පැණි පදමට සාදා ගැනීම සාර්ථක යි. කැට කෑල පොතු පත්තුව වෙළඳ පළේ මිලදී ගැනීමටත් තිබෙනවා. හදිසි තත්වයකදී විදේශයක ජීවත් වන අයෙක් ට උඳු තම්බා බිත්තර සුදු මදය සමඟ පත්තු දැමීමෙන් යම් සහනයක් ලැබිය හැකි යි. වෙළඳපළේ තිබෙන ල‌ේප අතර දණහිස් වේදනාව සඳහා වෛද්‍යය උපද‌ේශ සහිතව යෙදිය හැකි අගනා ලේපයක් නම් ලාක්ෂාදී ලේපයයි. එයින් ග්රෑම් සීයක් පමණ මී පැණි කාලකට හොඳින් මිශ්‍ර කර ගැනීමෙන් සාදා ගන්නා ලේපය ප්‍රබල වේදනා නාශකයක් වනවා. මෙය ඉක්මනින් ක්‍රියා කරන නිසා පැය කිහිපයකින් වැසුම් ගලවා ඉවත් කළ හැකි යි. දණහිස් ආබාධ සඳහා පොදුවේ ලබා ගත හැකි ඖෂධයක් ලෙස වෘහත් යෝග රාජ ගුගුල් හැඳින්විය හැකි යි. ඊට අමතර ව සරල කෂාය කිහිපයක් ද පොදුවේ භාවිතා කළ හැකි යි. මුලින් ම ආඩතෝඩා මුල්, රසකිඳ සහ එඬරු මුල් කලං හතර බැගින් ගෙන පත අට පතට සිඳුවා කෂාය කර පෙරා දින හතරක් පමණ දෙවේලට පානය කිරීම හොඳයි. පළමු දිනයේ උදෑසන කෂායට විරේක පිණිස එඬරු තෙල් අවුන්සයක් යෙදිය යුතු යි. අනුපාන ලෙස මී පැණි සුදුසු යි. ඉන්පසු බෙලි මුල්, මිදි මුල්, තොටිල මුල්, පලොල් මුල්, ඇත්දෙමට මුල්, අස්වැන්න, ‌ප‌ොල්පළා, බටු මුල්, කටුවැල්බටු, හීන් ග‌ොකටු, බැවිල මුල්, අරත්ත අල, රසකිඳ, වියළි ඉඟුරු, යන මේවා මදටිය දහ අට බැගින් ගෙන පත අට පතට සිඳුවා කෂාය කර පෙරා දෙවේලට මී පැණි දමා පානය කිරීම හොඳයි. දින හයක් පමණ පානය කිරීම ප්‍රමාණවත්. කසාය තැම්බීමට අපහසු අයට රාෂ්ණා සප්තක ක්වාතය මේස හැඳි දෙක බැගින් උදේ සවස මාසයක් පමණ පානය කිරීමට ද හැකි යි. ර‌ෝගියා වඩාත් වයස්ගත නම් ( වයස හැටට පමණ වැඩි අයට ) ඉහත කෂාය ට අමතර ව පහත කෂාය දෙන්න. දැත්ත මුල්, බැවිල මුල්, වියළි ඉඟුරු, කටුකරඬු මුල්, එඬරු මුල්, ද‌ේවදාර, නික මුල්, බෙලි මුල්, සුදු ළූණු, කොල්ලු, උඳු සහ හීන් අරත්ත අල යන මේවා කලඳ බැගින් ගෙන පත අට පතට සිඳ පෙරා පරණ මී පැණි දමා දෙවේලට දින හයයි. දණිහිස වේදනා දෙන රෝගීන් ගේ තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය සහ අක්මාව, වකුගඩු පිළිබඳව ද විටමින් ඩී සහ කැල්සියම් පිළිබඳව ව්ශේෂයෙන් සලකා බැලිමේදි රෝග මුලයන් හසු වේ. කැල්සියම් පෙති වශයෙන් ලබා ගන්නා බොහෝ රෝගීන් නිසි වෙෙද්‍යය උපදෙසින් තොරව එය සිදු කරන නිසා ආහාර මඟින් කැල්සියම් ලබා ගැනීමේ වැදගත්කම ඔවුන්ට පැහැදිළි කර දිය යුතු යි.

1114