කොලොස්ටරෝල්

  • 0
  • 1 year ago
  • Views : 284
  • ID : #7887

Description

? මේදෝවෘද්ධි ( කොලෙස්ටරෝල් ) සඳහා දේශීය ප්‍රතිකාරයක් තිබේ ද ? පසුගිය දිනෙක මගේ සමීප මිතුරෙකු විසින් කොලෙස්ටරෝල් සඳහා ඇති දේශීය ප්‍රතිකාරය පිළිබඳ ව දැනුවත් කිරීමක් සිදු කර දෙන මෙන් ලෙස කරන ලද ඉල්ලීමට අනුව මෙම ලිපිය සම්පාදනය කිරීමට සිතුවෙමි. අප දිය නාන විට අත්ල රැලි සහිත වේ. ඒ යමක් ග්‍රහණය කර ගැනීමට පහසු වනු පිණිස ය. එය කටුස්සා ගේ පාට වෙනස්වීම බඳු ක්‍රියාවලියකි. මිනිස් සිරුර තුළ ද එවැනි බොහෝ සංකීර්ණ ක්‍රියාවලීන් අප නොදැනුවත්ව ම සිදු වේ. මේදෝවෘද්ධිය එබඳු ක්‍රියාවලියක ප්‍රතිවිපාකයක් මිස අද බොහෝ දෙනා සිතන ආකාරයේ ආහාර රටාව මත ම පදනම් වන රෝගයක් ද නොවේ. උදාහරණයක් ලෙස පොල් තෙල් ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් ඇති වේ යන මතය වැනි මතවාද ව්‍යාජ ප්‍රකාශන වේ. මිනිසා ට රසවත් යැයි හැඟෙන බොහෝ ආහාර පාන සොබා දහම අපට රසවත් යැයි හඟවා ඇත්තේ ඒවා වෙහෙස මහන්සි වී සපයා ගත යුතු සොබා දහම තුළ මිනිසා ජීවත් වූ කාලයේ දී දුර්ලභ වූ ඒවා නිසා මිස ඒවා දිනපතා ආහාරයට එක් කර ගත යුතු නිසා නොවේ. මේදෝවෘද්ධි තත්වය ඇති වීමට නූතන ‘කෘතිම‘ ආහාර රටාව තදින් ම බල පා ඇත. ඒ අතරට එක් ව ඇති ශාරීරික ක්‍රියාකාරකම් වල ඇති අඩුව ද මානසික පීඩනය ද මේදෝවෘද්ධි තත්වය සඳහා බලපවත්වන ප්‍රධාන සාධකයන් බව ට පත් ව ඇත. අනෙක් අතට මේදෝවෘද්ධි තත්වය සමඟ අත්වැල් බැඳ ගන්නා තවත් රෝග ඇත. උදාහරණයක් ලෙස මධුමේහය දැක්විය හැකි ය. කෙසේ නමුත් මේදෝවෘද්ධි තත්වයට වඩා හෘදයාබාධ සඳහා බලපවත්වන කාටත් වැටහෙන ආකාරයට කිව හොත් කැල්සියම් තැන්පත් වීමේ ගැටලුව ආදී අප වඩාත් අවධානය යොමු කළ යුතු තත්වද ඇත. අවාසනාවට මෙන් බටහිර ඖෂධ මාෆියාවේ බලපෑම බටහිර සෞඛ්‍යය අධ්‍යාපනය විෂයෙහිද එල්ල වී ඇත. මේ නිසා රෝග සහ ඒවායේ නිවාරණය පිළිබඳ විශ්වාසනීය තොරතුරු සමාජගත වීම ඉතා ම අඩු වී තිබේ. මේ නිසා සෞඛ්‍යය පිළිබඳ ව දැනුවත්භාවය පිණිස සවිඥානකත්වය භාවිතා කිරීමට සිදු වී තිබේ. ලාංකිකයන් ගේ අතීත ආහාරපාන හුරුව තුළ වූ රූක්ෂබව මෙන් ම ශාකමය ආහාරයනගේ සුලභත්වය නිසා ජාන පදනමින් ම මේදෝවෘද්ධි තත්වය පිළිබඳ ව සැලකිලිමත් විය යුතු වේ. විශේෂයෙන් බටහිර පන්නයේ සංස්කෘතීන් සහිත විදෙස් රටවල සේවය කරන්නන් මෙහිදී වඩාත් ම සැලකිය යුතු වේ. සිරුරට අවශ්‍යය මේදානු සිරුර තුළින් ම නිපදවා ගන්නා අතර අප බාහිරව ගන්නා අතිරික්ත මේදය ජාන පදනම නිසා සිරුරට දරා ගැනීම අපහසු විය හැකි ය. මේ නිසා දිනකට වේල් දෙකක් පමණක් ගැනීම ඉතා ම සුදුසු සරල ම ප්‍රතිකර්මයක් ලෙස හැඳින්විය හැකි ය. විශේෂයෙන් ම උදේ ආහාරය ගැනීමෙන් වැළකීම පහසුවෙන් ප්‍රායෝගිකව සිදු කළ හැකි ය. කිරි, චීස්, බටර්, මස්, මාළු, පිටි කෑම ආදී අහිතකර ආහාර හැකි පමණින් භාවිතයෙන් ඈත් කිරීම ද මත් පැන් සහ දුම් පානය නතර කිරීම ද මේදෝවෘද්ධි තත්වය තුළ සිදු කළ යුතු වේ. හණ තෙල් භාවිතය ඉතා යෝග්‍යය වනු ඇත. කරපිංචා, ගොරකා, කුරුඳුපොතු, පාවට්ටා, උළුහාල්, සුදු ළූණු, රතු ළූණු , කොත්තමල්ලි යන ගෘහෞෂධ සරලව ම මෙම රෝග තත්වය නිවාරණයට භාවිතා කළ හැකි ය. ඊට අමතරව විදේශගත ශ්‍රමිකයන් හට කොළ ඇපල් ද ගුණදායක ය. ප්‍රධාන ආහාර වේල් වලින් පසු ව හරිත තේ භාවිතය ද ගුණදායක වේ. උදෑසන අවදි වී උණුකර මඳක් නිවා ගත් ජලයට මී පැණි තේ හැන්දක් දමා හිස් වූ උදරය සහිතව ම පානය කිරීම ද ඉතා ම ගුණ දෙන තත්වයක් වේ. සපයා ගත හැකි නම් බාර්ලි කැඳ වතුරට මී පැණි යොදා උදෑසන පානය කිරීම ශරීර දාහය සමඟ මේදෝවෘද්ධිය ඇති අයට ඉතා ම සුදුසු යි. කරපිංචා, සුදු ළූණු සහ කුරුඳුපොතු, කොත්තමල්ලි සහ උළුහාල් ආදිය සුළු ප්‍රමාණ වලින් ද ගොරකා යහමින් ද දමා සාදා ගත් ගොරකා මිශ්‍රණය ශීතකරණයේ තබාගෙන දිනපතා රෑට උණු වතුර වීදුරුවක් සමඟ විනාඩි දහයක පමණ කාලයක් ගනිමින් ලේහ කිරීම මේදෝවෘද්ධි තත්වය සඳහා ප්‍රශස්තම ප්‍රතිකාරයකි. මේදෝවෘද්ධි තත්වයේ සංකීර්ණතා නිසා පාරම්පරික දේශීය වෛද්‍යවරයෙකු ගේ පූර්ණ අධීක්ෂණයකින් තොර ව කසාය නියම කිරීම ප්‍රශස්ත නොවේ. නමුත් දැන ගැනීම පිණිස මෙම තත්වයට සුදුසු පොදු කසාය කිහිපයක් පහතින් දක්වමි. බැවිල මුල්, බේත් එඬරු මුල්, දේවදාර, අමු ඉඟුරු, උළුහාල්, සුදු ළූණු, කරපිංචා නැටි, බෙලිමුල්, යන මේවා කලං තුන බැගින් පමණ ගෙන පත අට පතට සිඳ පෙරා නවරත්න කල්කය මදටිය ඇටයක් පමණ දමා පානය කිරීම සුදුසු වේ. සිඳ ගත් කසාය පත දවස පුරා ටික ටික වරින්වර පානය කිරීම ද සුදුසු වේ. මෙම කසාය සති දෙකක් පමණ පානය කළ යුතු යි. තත්වය ඉතා ම බැරෑරුම් අවස්ථාවකදී බෙලි මුල්, කරපිංචා කොළ, කරපිංචා නැටි, හීන් මිදි මුල්, සිරිවැඩිබැවිල මුල්, සුදු ළූණු, කුඹුක් පොතු, හීන් වන ඉද්ද මුල්, කොත්තමල්ලි, බැවිල මුල්, උළු හාල්, සුවඳ කොට්ටං යන මේවා කලඳ බැගින් ගෙන පත අට පතට සිඳ පෙරා කෂාය කර දිනය පුරා ටික ටික පානය කිරීම ගුණදායක වේ. මෙම කෂාය සතියක් පමණ වුවත් පානය කිරීම සෑහේ. මේදෝවෘද්ධි තත්වය සඳහා භාවිතා වන නිෂ්පාදිත ඖෂධ ඒ ඒ වයස් කාණ්ඩ වලදී භාවිතා කළ යුතු ආකාරයක් තිබේ. මේ සඳහා ආයුර්වේද නිෂ්පාදිත ඔසු පිළිබඳ ව පුළුල් පළපුරුද්දක් සහිත වෛද්‍යවරයෙකු ගේ උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. උදාහරණයක් ලෙස මා දැක ඇති එක්තරා ආයුර්වේද වෛද්‍යවරයකු ලියූ මෑතකාලීන පොතක ශාතාවරී ගෝපකන්‍යාදී ක්වාථය මේදෝවෘද්ධි සඳහා නිර්දේශ කර තිබිණි. නමුත් රක්තපිත්තය සහිත රෝගීන්ට වඩාත් සුදුසු වන ශාතාවරී ගෝපකන්‍යාදී ක්වාථය එසේ නොවන අයෙකු ට ඉක්මනින් සෙම ඇවිස්සීමට හේතු වේ. විශේෂයෙන් ම ස්ථුලතාවයෙන් පෙළෙන අයෙකුට එය එතරම් ම සුදුසු නොවේ. මේදෝවෘද්ධි සඳහා ප්‍රශස්තම ඔසුවක් වන අමෘතාදී ගුග්ගුලු මේ වන විට මිලදී ගැනීමට නැත. ඒ නිසා එය සකසා ගන්නා ආකාරය සටහන් කරමි. රසකිඳ භාග එකයි, සිහින් එනසාල් භාග දෙකයි, වළඟසාල් භාග තුනයි, කෙලිඳ ඇට භාග හතරයි, කෙලිඳ පොතු භාග පහයි, අරළු භාග හයයි, නෙල්ලි භාග හතයි, ශුද්ධ ගුගුල් භාග අටයි ගෙන සිහින් වන්නට අඹරා ගුලි කර අඹරා වරකට දෙක බැගින් දිනකට දෙවරක් මී පැණියෙන් ගැනීම පොදුවේ නිර්දේශ කළ හැකි අගනා ම ඔසුවකි. ආසව අතරින් පුනර්ණවාසවය, කුමාර්යාසවය සහ ලෞහාසවය සමසේ මිශ්‍ර කර දිනකට දෙවරක් පමණ මේස හැඳි දෙක බැගින් ගැනීම මේදෝවෘද්ධි තත්වයේ බලපෑම අක්මාවට එල්ල වී ඇත්නම් කළ යුතු වේ. එහිදී අක්මාව රැක ගැනීම සඳහා දුර්ලභ ඖෂධයක් වන දාඩිමාෂ්ටක චූර්ණය ද භාවිතා කළ හැකි ය. මේදහරණය පිණිස භාවිතා කළ හැකි නිෂ්පාදනයේ පවතින අගනා ඔසුවක් නම් මේදහර ක්වාථය යි. මෙය මඳක් සැර ගන්ධයක් පිටවන ක්වාථයක් නිසා ඇතැම් රෝගීන් භාවිතා කිරීමට අකමැත්තක් දක්වන නමුත් ඉතා වටිනා පහසුවෙන් සපයාගත හැකි ඖෂධයකි. මෙය මේස හැඳි දෙකක් දිනකට දෙවරක් භාවිතා කළ යුතු වේ. කාරව්‍යාදී චූර්ණය ද ඇතැම් ඖෂධාලයන් ගේ දැනටත් නිෂ්පාදනය වන අගනා ඔසුවකි. කෝපි මෙන් වත් කර පානය කළ හැකි ය. මේදෝවෘද්ධි තත්වය අධිකතරව ඇති විට එක්වර ම බටහිර ව්‍යායාම් කිරීම සුදුසු නොවන අතර යෝග, තායි චී වැනි පෙරදිග සම්ප්‍රදායේ ලිහිල් බවක් ද සහිත ව්‍යායාම් ක්‍රම වඩාත් සුදුසු ය. එවිට රුධිර සංසරණ පද්ධතිය අනුක්‍රමයෙන් සුවපත් වීම සඳහා අවශ්‍යය පසුබිම නිර්මාණය වේ. කාන්තාවන් ගේ මේදෝවෘද්ධි තත්වයට හේතු වන කාන්තා රෝග සමඟ සම්බන්ධ වන විශේෂිත හේතු ඇති නිසා අසාමාන්‍යය ලෙස කාන්තාවක ගේ මේදෝවෘද්ධි තත්වයක් පෙන්නුම් කරන්නේ නම් ආහාර පාලනය සහ අත් බෙහෙත් ආදිය භාවිතය යන කාරණාවන්ගෙන් සෑහීමට පත් නොවී පළපුරුදු වෛද්‍යවරයකු සමඟ කල් වේලා ගෙන සාකච්ඡා කිරීම වැදගත් වේ. නූතනයේ දැකිය හැකි වන මෙවැනි බොහෝ රෝගයන් සඳහා හේතු වී ඇත්තේ අපගේ ජීවන රටාවේ ඇති වෙනස්වීම් බව වටහා ගෙන කටයුතු කිරීම වැදගත් වන අතර අපගේ ස්වභාවික උරුමය වටහා ගෙන කටයුතු කළ හැකි නම් මේවා වැළඳීමට පළමුව පහසුවෙන් පරිස්සම් විය හැකි රෝග ස්වභාවයන් ද වේ.

1114