රෝග නිර්ණය සදහා ජොතිශ්‍ය උපයෝගීතාව

  • 0
  • 1 year ago
  • Views : 574
  • ID : #8299

Description

? සිංහල වෙදකම තුළ ජ්‍යොතිෂය භාවිතය පිළිබඳ ව සරල හැඳින්වීමකි. වර්තමානයේ පවා සිංහල වෙදකම තුළ සාර්ථකව යොදා ගන්නා ජ්‍යොතිෂය පිළිබඳව පැහැදිළි කිරීමට මෙයින් යම් උත්සාහයක් දරම්. සිංහල වෛද්‍යවරුන් සතු ව ඇත්තේ රෝග නිර්ණය කිරීම පිළිබඳ පුදුමාකාර හැකියාවක් යැයි ඒ පිළිබඳ අත්දැකීම් ඇති අය නිතර කියනු ඇසේ. ඒ සඳහා හේතු වන කාරණා අතර ජ්‍යොතිෂය ට ලැබෙන්නේ ද ප්‍රමුඛ ස්ථානයකි. දේශීය වෛද්‍යවරුන් හා අද අප දකින ආයුර්වේද වෛද්‍යවරුන් අතර දැකිය හැකි එක් වෙනස්කමක් වන්නේ නූතන ආයුර්වේද වෛද්‍යවරුන් තුළින් ජ්‍යොතිෂ භාවිතය ඈත් ව යාමයි. තමා වෙතට පැමිණෙන රෝගියා පරීක්ෂා කිරීමේදී දේශීය වෛද්‍යවරුන් භාවිතා කරන ප්‍රකට ක්‍රමවේද කිහිපයක් ඇත. එයින් ජ්‍යොතිෂයට සම්බන්ධ සෘජු ක්‍රමවේදයක් ලෙස තත්කාලය භාවිතා කිරීම පෙන්වා දිය හැකි වේ. මෙහිදී සිදු කෙරෙන්නේ රෝගියා වෛද්‍යවරයා වෙත එළඹුනු වේලාව ට කේන්දරයක් සාදා එය නමිත්තක් වශයෙන් සලකා භාවිතයට ගැනීමයි. දෙවනුව රෝගියා ගෙන ආ බුලත් අත නිමිත්තක් ලෙස සලකා පරීක්ෂා කිරීම දැකිය හැකි වේ. එය ද ලෝකයේ වෙනත් සංස්කෘතීන්හි පවා සුළු වෙනස්කම් සහිත ව දේශීය වෛද්‍යවරුන් භාවිතා කරන ක්‍රමවේදය කි. ශරීරයේ ඒ ඒ අංග සමඟ බුලත් අත සමපාත කර සිදු කරනු ලබන මෙම පරීක්ෂාව සඳහා දේශීය වෛද්‍යවරයා මනා සේ අත්දැකීම් සහිත අයෙකු විය යුතු ය. මේ නිසා ආධුනිකයන් මේ සඳහා පළපුරුදු වෛද්‍යවරයකු ගේ අන්තේවාසික භාවයෙහි යම් කාලයක් හික්මිය යුතු වේ. බොහෝ දේශීය වෛද්‍යවරුන් රෝගී පරීක්ෂාව හා කර්ණමුන්ඩය භාවිතා කරනු ද දැකිය හැකි ය. එමඟින් රෝගියා ගේ සම්පූර්ණ සිරුර මෙන් ම මනස ද කියවා ගැනීමට අවස්ථාවක් වෛද්‍යවරයාට ලැබේ. ඇතැම් දේශීය වෛද්‍යවරුන් රෝගියාට ඊට පෙර ප්‍රතිකාර කළ බටහිර වෛද්‍යවරුන් ගේ නම් පවා කියනු ඔබ දැක ඇත. ඇතැම් දේශීය වෛද්‍යවරුන් කර්ණමුන්ඩ ක්‍රමයට එතරම් කැමැත්තක් නොදක්වන අවස්ථා ද ඇත. එවැනි වෛද්‍යවරුන් පහන් දැල්ලේ භාවනාව වැනි භාවනා මඟින් දියුණු කර ගත් අතීන්ද්‍රිය හැකියාවන් රෝග පරීක්ෂාව සඳහා යොදා ගන්නා අවස්ථා ඇත. මේ ආදී ලෙස රෝගියා පිළිබඳ ව වටහා ගැනීම සඳහා බොහෝ ආකාර මඟින් අදාල රෝගියා ව දේශීය වෛද්‍යයවරයා විසින් පරීක්ෂා කරනු ලබන අතර එහිදී අවසාන වශයෙන් නාඩි පරීක්ෂාව ද සිදු කෙරෙයි. නාඩි පරීක්ෂාව වෙනම ම ලිපියකින් පැහැදිළි කළ යුතු දීර්ඝ සාකච්ඡාවකි. නාඩි පරීක්ෂාව තුළින් ද දේශීය වෛද්‍යයවරයාට රෝගියා ගේ අවයවයෙන් අවයවය සියුම් ව පරීක්ෂා කළ හැකි ය. උදාහරණයක් ලෙස මොළයේ කොටස් පවා වෙන වෙන ම පරීක්ෂා කරන්නට තරම් එම ක්‍රමවේදය තියුණු ක්‍රමවේදයක් වේ. අදටත් මෙසේ පරීක්ෂාවට ලක් වන ඇතැම් කොටස් පිළිබඳ ව බටහිර වෛද්‍යක්‍රමයේ පවා දැනුවත්භාවය දුර්වල ය. මෙසේ ලබාගත් රෝගියා පිළිබඳ දත්ත සංස්ලේෂණය මඟින් එක්තැන් කරගෙන රෝගියා පිළිබඳ ව නිගමනයන් ට පැමිණීම සිදු කෙරෙන අතර මේ සමස්ත ක්‍රියාවලිය සඳහා යම් වේලාවක් ගත වේ. මේ නිසා දේශීය වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර බලාපොරොත්තු වන රෝගීන් කාලය සම්බන්ධ ව යම් කැප කිරීමක් සිදු කළ යුතු වේ. මීට අමතර ව අංගලක්ෂණ ඇසුරින් ද රෝගියා ගේ ඇතැම් තත්වයන් විග්‍රහ කර ගත හැකි වේ. උදාහරණයක් ලෙස පිත් කෝපය ඇති අයගේ කොණ්ඩය සහ රෝම කූප රැළි ගැසෙන ස්වභාවයක් ගනී. රෝගියා තමන්ගේ උපන් වේලාව පිළිබඳ දැනුවත් නම් දේශීය වෛද්‍යවරයා අතින් රෝගියා ගේ ජන්මපත්‍රය හෙවත් කේන්දරය බැලීම ද සිදු වේ. මේ නිසා දේශීය වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගෙන පුරුදු රෝගීන් බුලත් අතක් සහ තම ජන්ම පත්‍රය සිංහල වෙද මහතා වෙත රැගෙන යාමට අමතක නොකරන ස්වභාවයක් ද ඇත. අද අප මෙම ලිපියෙන් විශේෂයෙන් සාකච්ඡාවට භාජනය කරන්නේ එම කාරණය පිළිබඳව යි. ජන්මපත්‍රයක උපන් රාශිය අනුව දල දැනුමක් රෝගියා ගේ ශරීරය පිළිබඳ ව බැලූ බැල්මට ම වෛද්‍යවරයාට ලබා ගත හැකි ය. උදාහරණයක් වශයෙන් බොහෝ මේෂ ලග්න හිමියන් ට ඇත්තේ පිත් කෝපයට පහසුවෙන් ලක් විය හැකි සිරුරු වන අතර වෘෂභ ලග්න හිමියන්ට ඇත්තේ සෙම් බහුල ශරීර වේ. නමුත් මේ දැනුම දල දැනුමක් බව වටහා ගත යුතු ය. ජන්මපත්‍රයක ලග්නාධිපති පිහිටන ආකාරය ආදිය ඇසුරෙන් ද රෝග බහුලතාවය පිළිබඳ ව මෙන් ම පිළිකා වැනි රෝග වැලඳීමට ඇති ඉඩ කඩ පිළිබඳව ද අදහසක් ලබා ගත හැකි ය. ලග්නාධිපති අට වැන්නේ වීම මෙන් ම ලග්නාධිපති දොළොස්වැන්නේ වීම ද සැලකිය යුත්තකි. චන්ද්‍රයා අට වැන්නේ වීම, ගුරු තුන් වැන්නේ වීම සහ රවි දොළොස්වැන්නේ වීම ආදිය ද අධිකතර රෝගාබාධ පිළිබඳ ව සෘජු ව කෙරෙන දල නිවේදන වේ. ඇතැම් පිහිටීම් සමහර රෝගාබාධයන් පිළිබඳ ව සෘජු නිවේදනයන් සිදු කරයි. ශනි හයේ තැන්පත් වීම එවැන්නකි. ශනි හයේ තැන්පත් වූ ජන්මියාට සීනි අවදානමක් ඇත. රාහු දොළහේ තැන්පත් වීම පාද වල නහර ගැට ගැසීම පිළිබඳ ව නිවේදනය කරයි. දෙවැන්නේ පාපියෙකු තැන්පත් වීම බොහෝ විට තයිරෝයිඩ් සංකූලතා පිළිබඳ ව ඉඟි කරයි. අර්ධාවභේදකය හෙවත් මිග්‍රේන් ඇති අති බහුතරයකගේ රවි පළමුවැන්නේ තැන්පත් ව සිටීම සැලකිය යුත්තකි. ඇතැම් ග්‍රහ සංයෝග විශේෂ රෝගාබාධ පිළිබඳ ව ඉඟි කරයි. කුජ ශනි සංයෝගය එවැන්නකි. කුජ ශනි යෝග ව ඇත්නම් රෝගියා පිළිකා රෝගයට බඳුන් වීමට අවදානමක් ඇත. ශිෂ්‍යයයන් ගේ දැනුවත් වීම සහ අධ්‍යයන කාර්යයේ පහසුව සඳහා ඒ ඒ ග්‍රහයන් තුළින් නිවේදනය වන අදාල තොරතුරු පිළිබඳ ව පළමුව වටහා ගත යුතු ය. උදාහරණයක් වශයෙන් රවි සහ චන්ද්‍ර දෙදෙනා සලකමු. රවි ට සම්බන්ධ වන ශරීර අංගයන් ලෙස හිස, හෘදය වස්තුව, කොඳු ඇට පෙළ, සම, උදරය,අස්ථි සහ දකුණු ඇස සැලකේ. රවිගෙන් නිවේදනය වන රෝග ලෙස වණ, භගන්දරා, උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හෙවත් ඇපෙන්ඩිසයිටිස්, අපස්මාරය, අස්ථිරෝග, දුර්වල ඇස් පෙනීම, හිස රදය, රුධිර සංසරණ පද්ධතියේ ගැටලු, හෘද රෝග, සමේ රෝග, පිත්තාබාධ, තට්ටය පෑදීම, දැවිලි සහ විවිධ උණ සැලකිය හැකි ය. එසේ ම රවිගේ කාරකත්ව ගණයට විවිධ ලෙඩ රෝග වලින් නිදහස් වීම ද අයත් වේ. චන්ද්‍රයාට සම්බන්ධ වන ශරීරාංග ලෙස මුත්‍රාශය, වසාපද්ධතිය, බඩවැල්, ස්නායු පද්ධතිය, රුධිරය, ගලනාලය, ගර්භාෂය, ඩිම්බකෝෂ, පයෝධර, වම් ඇස, උදරය, හෘදය සැලකිය හැකි ය. චන්ද්‍රයාගෙන් නිවේදනය වන රෝග ලෙස උදරාබාධ, උරහිසේ දුර්වලතා, ස්නායු රෝග, ජනනේන්ද්‍රියන් ගේ ආබාධ, මුත්‍රා රෝග, භින්නෝන්මාදය, වික්ෂිප්ත භාවය, උන්මාදය, ගර්භාෂගත රෝග, ක්ෂය රෝගය, ඔසප් දෝෂ, සෙංගමාලය, අංශභාගය, ස්වාසනාලයේ ඉදිමුම්, ඇදුම, මන්දාග්නිය, මැලේරියාව සහ පෙනහළු සම්බන්ධ දුබලතා ආදිය දැක්විය හැකි ය. ශරීරය කොටස් වලට බෙදා ඒ ඒ කොටස හා කේන්ද්‍රයේ ඒ ඒ භාවයන් සම්බන්ධ වන ආකාරය දක්වා ඇත. උදාහරණ වශයෙන් පළමුවැනි භාවය හෙවත් කේන්දරයක පළවෙනි කොටුවෙන් හිස සම්බන්ධ තොරතුරු නිවේදනය වේ. මෙය උදාහරණයකින් පැහැදිළි කර ගත හොත් ලග්නය සිංහ වී රාහු පළමුවැන්නේ තැන්පත් වූ විට ජන්මියා පහසුවෙන් උන්මාද තත්වයන් ට ලක් වීමේ අවදානමක් ඇත. දෙවැන්නෙන් උගුර, බෙල්ල, දත් ආදිය ද තුන්වැන්නෙන් උරහිස් ද හතර වැන්නෙන් පෙනහළු සහ හෘදය ද ආදී ලෙස මෙසේ ශරීරය කොටස් වලට අයත් වන ආකාරය ජ්‍යොතිෂය තුළ සාකච්ඡා වේ. මේ නිසා තමා වෙතට පැමිණෙන රෝගියා ගේ ඇතැම් රෝග තත්ව බැලූ බැල්මට ම අනුමාන කර ගැනීමට දේශීය වෛද්‍යවරයාට අවස්ථාව ලැබේ. උපන් නැකත පිළිබඳව අවධානය යොමු කිරීමෙන් ද ජන්මියා සම්බන්ධ යම් යම් රෝග පිළිබඳ ව තොරතුරු හෙළිදරව් කර ගත හැකි ය. උදාහරණයක් ලෙස සියාවස නැකතේ තුන්වන පාදයෙන් උපත ලද ජන්මියා ගේ පිත්තාධික රෝග සහජයෙන් උරුම වේ. මෙසේ සෑම නැකතක් පිළිබඳව ම රෝගාබාධ සම්බන්ධ ව දැනුවත් වීම වැදගත් වේ. අනෙක් අතට ඇතැම් නැකත් හා පිහිටීම් විශේෂිත රෝගාබාධ පිළිබඳ ව නිවේදනය කරයි. මෙය මා හට නිතර ම ප්‍රතිකාර සිදු කරන්නට අවස්ථාව ලැබෙන පිළිකාව සම්බන්ධ උදාහරණ කිහිපයකින් පැහැදිළි කර දීමට උත්සහ ගනිමි. ශනි පීඩාවට පත් ව රාහුට අයත් අද, සා, සියාවස නැකතක පිහිටීම පිළිකා අවදානම නිවේදනය කරයි. පීඩාවට පත් වූ කුජ අස්ලිස නැකත හා සම්බන්ධ වූ ලග්නාධිපති සමඟ හය වැන්නේ තැන්පත් වීම ද පිළිකා රෝග අවදානම නිවේදනය කරයි. අද සහ සිත නැකත් යටතේ ශනි සහ සිකුරු හය වැන්නේ පිහිටීම ද පිළිකාව පිළිබඳව අවදානම නිවේදනය කරයි. බී.වී රාමන් පඬිතුමා ගේ planetary influences on human affairs කෘතියෙහි එකොළොස්වන පරිච්ඡේදයේ දී වෛද්‍යය විද්‍යාවට යටිතල දිරිගැන්වීමක් ලෙස ජ්‍යෝතීර් විද්‍යාෙව් අදාලත්වය නමින් ගැඹුරු පරිච්ඡේදයක් ඇත. එය එකවර ම වටහා ගැනීමට ද ශිෂ්‍යයකු හට අපහසු විය හැකි ය. නමුත් එම පරිච්ඡේදය තුළ බටහිර වෛද්‍යයවරුන් සහ ඇතැම් බටහිර විද්‍යාඥයන් ජ්‍යොතිෂමය කාරණා සහ ශරීරය අතර ඇති සම්බන්ධතා පිළිබඳ ව පෙන්වා දී ඇති නිරීක්ෂණ ගණනාවක් ද අන්තර්ගත වේ. විශේෂයෙන් ම එම නූතන නිරීක්ෂණ පැරණි ජ්‍යොතිෂ සිද්ධාන්ත සමඟ ගැලපී යන ආකාරය ද තුලනාත්මක ව දක්වා ඇත. උදාහරණයක් ලෙස ප්‍රතිසන්ධිය පිළිබඳ ව ඔගිනෝ සහ නවුස් යන ප්‍රසව හා නාරී වෛද්‍යයවරුන් ගේ නිරීක්ෂණ සමඟ ජ්‍යොතිෂ මූල ග්‍රන්ථයක් වන ජාතක පරිජාත කෘතියේ පිළිසිඳගැනීම පිළිබඳ ඉගැන්වීම් සම්පූර්ණයෙන් ම සමපාත වීම පෙන්වා දිය හැකි ය. වෛද්‍යය ජ්‍යෝතිෂය ට රෝග විනිශ්චය සම්බන්ධව මෙතරම් කාර්යයක් සිදු කළ හැකි ව තිබිය දී නූතන බොහෝ ආයුර්වේද වෛද්‍යවරුන් පවා එය නොසලකා හැරීම කෙතරම් අභාග්‍යය සම්පන්න ද යන්න සැලකිය යුත්තකි. වාසනාවකට මෙන් අදටත් ලංකාව තුළ දේශීය වෛද්‍යවරයා හෙවත් සිංහල වෛද්‍යවරයා වෛද්‍යය ජ්‍යෝතිෂමය දැනුම රෝගීන් විෂයෙහි යොදා ගැනීම රෝගීන් ගේ අංශයෙන් බලන විට වාසනාවන්ත කරුණකි. ඇතැම් අවස්ථාවලදී රෝග නිර්ණය කිරීම සඳහා නූතන වෛද්‍යය පරීක්ෂණ ඉක්මවා ගිය ආලෝකයක් ජ්‍යොතිෂය තුළින් ලැබේ. වරක් මාගේ හිතවත් වැඩිමහල් සොහොයුරියක් මා හමුවන්නට ආවා ය. ඇගේ කපාල අස්ථියේ හිටි හැටියේ් ම යම් විකෘතිතාවයක් ඇති වී තිබිණි. මා ඇය සම්බන්ධ ව එක්තරා රෝග තත්වයක් පිළිබඳ ව නිගමනයකට පැමිණ ඇය ඒ පිළිබඳ ව දැනුවත් කළෙමි. රෝග ඉතිහාසය පැහැදිළි වීම පිණිස බටහිර වෛද්‍යවරයකු හමු වී අදාල රෝගය සම්බන්ධයෙන් රුධිර පරීක්ෂාවක් කර ගන්නා ලෙස ද උපදෙස් දුන්නෙමි. ඇය එසේ කළා ය. නමුත් රුධිර පරීක්ෂාවෙන් කියවුනේ ඇයට එබඳු රෝගයක් නොමැති බවයි. මා කෙරෙහි විශ්වාසය තැබූ ඇය වෙනත් ඉහළ පිළි ගැනීමක් ඇති ආයතනයකින් දෙවනි වරට ද රුධිර පරීක්ෂාවක් සිදු කළා ය. දෙවනිවර සිදුකළ රුධිර පරීක්ෂාව අනුව අදාල රෝග තත්වය ඇයට ඇති බවට තහවුරු විය. මෙවැනි අත්දැකීම් ගණනාවක් ඔබ හා කියන්නට මා සතු ව ඇත. අවාසනාවකට මෙන් ජ්‍යොතිෂමය භාවිතය අද වන විට ව්‍යාපාරික ජ්‍යොතිෂඥයන් හරහා පත් ව ඇති තැන නිසා එහි උපයෝගීතාවයෙන් සහ බුද්ධිමය භාවිතයෙන් නූතන පරපුර ඈත් කරමින් පවතී. එම තත්වය සබුද්ධිකව වටහා ගැනීමට දේශීය වෛද්‍යය ශිෂ්‍යයන් පරිස්සම් විය යුතු ය. නැවත අවස්ථාවක් ලද විටෙක මෙම ලිපියට දෙවන කොටසක් ද ලියන්නට බලාපොරොත්තු වෙමි. මෙහි අඩංගු කරන්නට අවකාශ නොලැබුණු මූලික කාරණා ගණනාවක් තව ඇත.

1114