මී පැණි

  • 0
  • 1 year ago
  • Views : 969
  • ID : #8781

Description

? මී පැණි වලින් බෙහෙත් කිරීම මී පැණි අත් බෙහෙතක් විදිහට නොයෙකුත් රෝගාබාධ වලට භාවිතා කරන්න පුලුවන්. මී පැණි කොයිතරම් වැදගත් ඖෂධයක් ද කියන්න මුලින් ම පුංචි උදාහරණයක් කියන්නම්. දවසක් මාව හමු වෙන්න රාගම රෝහලේ ඉඳලා ගෙදර යන තාත්තා කෙනෙක් එනවා. මේ තාත්තා ගේ උදරයේ පිළිකාවක්. අවුරුදු පහක් තිස්සේ ඔහු අම්ලපිත්තයට බෙහෙත් ගන්න රෝහලට එනවා. පසුව ඔහුට පිළිකාවක් බව හඳුනා ගන්නවා. ප්‍රතිකාර කරන්නට තරම් කාලයක් ඉතුරු වෙලා නැහැ කියලා තීරණය කරන වෛද්‍යවරයා ඔහුට ගෙදර ගොස් කැමති දෙයක් ආහාරයට ගෙන විවේකීව සිටින්නට උපදෙස් දී ශක්ති ජනක කිරි වර්ගයක් ෆාමසියකින් ගන්නට ලියා දෙනවා. වෛද්‍යවරයා මේ තාත්තා ගේ දරුවන් ට වෙනම කතා කර පවසන්නේ ඔහු සතියකින් පමණ මිය යනු ඇති බව යි. මේ රෝගියා ගේ දරුවන් ඔහුට විකල්ප ධාරාවේ පිළියමක් කරන්නට කැමැත්තක් දක්වන්නේ නෑ. ඔවුන් මරණ ගෙදරකට සූදානම් වනවා. නමුත් ඔහු ගේ මිතුරෙකු නිවසට යාමට ද පෙරාතුව ම මා වෙත ඔහුව කැඳවාගෙන එන්නේ යම් උපදෙසක් සඳහා යි. මා ඔහුට මට ත්‍යාග වශයෙන් ලැබී තිබූ නාගස් බහුල කැලෑවකින් ලබාගෙන තිබූ මී පැණි බෝතලයක් දුන්නා. රෝගියා ගේ නිවස මුහුද අද්දර තිබූ නිසා මා ඔහුට උපදෙස් දුන්නේ දවසින් පැය කිහිපයක් මුහුදේ කර වටක් බැස සිටින ලෙස යි. දවසේ පැය විසිහතර සමානව බෙදා ගෙන දිනකට හය වතාවක් පමණ මී පැණි තේ හැන්දක් බැගින් ගන්නා ලෙස ද ඔහුට උපදෙස් දුන්නා. මේ රෝගියා සැලකිය යුතු කාලයක් හොඳින් ජීවත් වූවා. මගේ සමීපතමයන් මේ කතාව හොඳින් දන්නවා. _______________________________ මත්පැන් ලෝලීන් ට මී පැණි හොඳ ඔසුවකි. මත් පැන් සඳහා ඇබ්බැහි වූ පුද්ගලයන් අතරින් සැලකිය යුතු පිරිසකට එයින් මිදීමට නොහැකි වන්නේ පොටෑසියම් ඌනතාවය නිසා ය. දියවැඩියා ර‌ෝගීන් ගේ සිරුරේ සෛල තුළට සීනි ගැනීමට නොහැකි වීම නිසා දියවැඩියා ර‌ෝගියාට සීනි සහිත ආහාර ගැනීමට උමතු හැඟීමක් ඇතිවන්නාක් මෙන් පොටෑසියම් හිඟ රෝගීන්ට මත් පැන් පානය සඳහා දැඩි කැමැත්තක් ඇති වේ. මෙවැනි මත් පැන් ලෝලියෙකුට මී පැණි ලබා දිය යුතු රටාවක් තිබේ. අවුරුදු තුනකට වඩා පැරණි යැයි සහතික මී පැණි තේ හැඳි හයක් විනාඩි විස්සකට වරක් පමණ පැය කිහිපයක් ලබා දිය යුතු ය. මේ කාලය තුළ තැම්බූ බිත්තර වැනි උසස් පෝෂණීය ආහාරයක් ද ලබා දිය හැකි නම් ප්‍රතිඵලය වඩාත් සාධනීය වේ. _______________________________ ඇඳ තෙමන දරුවන්ට මී පැණි හොඳ ඔසුවකි. ඇඳ තෙමන දරුවන් ගේ මනෝභාවයන් පිළිබඳ ව මා මීට පෙර ඔබ වෙනුවෙන් ලියා ඇත. ඒ සඳහා මනෝවිද්‍යාත්මක පිළියම් යෙදිය යුතු බව සැබෑවකි. එසේම කුඩා දරුවන් ට අවුරුද්දේ පමණ සිට මුත්‍රාශය හැසිරවීමට ක්‍රමයෙන් පුහුණු කළ යුතු ය. නමුත් අවුරුදු තුන ඉක්මවා ගිය පසුව ද ඇඳ තෙමන දරුවන් සම්බන්ධයෙන් වඩාත් සංවේදීව කටයුතු කළ යුතු ය. මේ සඳහා දරුවා ගේ නින්දට පෙර මී පැණි තේ හැන්දක් පමණ ලබා දීම වැදගත් වේ. එහිදී දරුවා ග‌ේ ස්නායු පද්ධතිය සන්සුන් කිරීමට මෙන් ම වකුගඩු සඳහා සහනයක් ලබා දීමටත් ජලය රඳවා ගැනීමේ හැකියාව ශරීරය තුළ ඇති වීමටත් මී පැණි මැදිහත් වේ. මෙහිදී සාර්ථක ප්‍රතිඵල සඳහා කාමර උෂ්ණත්වය‌ේ පවතින මී පැණි භාවිතා කළ යුතු අතර ශීතකරණය‌ේ තැබූ මී පැණි වලින් මේ හැකියාව ගිලිහී යන බව සිහි තබා ගත යුතු වේ. _______________________________ රෑට ගොරවන අයට මී පැණි හොඳ ඔසුවකි. රාත්‍රී කාලයේ ගෙරවීම සඳහා ශ්වසන පද්ධතියේ අවහිරතා හේතු වේ. මී වද පුරුද්දක් ලෙස හොඳින් විකා ආහාරයට ගැනීමෙන් මේ අවහිරතා නැවත ප්‍රකෘතිමත් කළ හැකි ය. මී වද සෙයා ගැනීමට අපහසු අයට නිසි වෙෙද්‍යය උපදෙස් පරිදි තේ හැන්දක් පමණ නින්දට පෙර භාවිතා කිරීමෙන් මේ සඳහා යම් සහනයක් ලැබිය හැකි ය. නින්දෙන් ගොරවන අයට කොහොඹ මල් මී පැණි වැනි මී පැණි වර්ගයක් වඩාත් සුදුසු ය. මෙවැනි අයට දියවැඩියා අවදානම ද බොහෝවිට පවතී. දියවැඩියා රෝගීන්ට ද මී පැණි භාවිතා කළ හැකි වුවත් එය නිසි උපදෙස් අනුව සිදු කිරීම වඩාත් සුදුසු ය. _______________________________ සුව නොවන කැස්සට මී පැණි හොඳ ඔසුවකි. සෙම්ප්‍රතිශ්‍යාව සුව වූ පසුව ද වියළි කැස්සක් පැවතීම සාමාන්‍යය ස්වභාවය යි. මෙවැනි අවස්ථාවකදී මී පැණි හැන්ද බැගින් භාවිතා කිරීම එම කැස්ස සුව වීමට හේතු වේ. මීට අමතරව සාමාන්‍යය සෙම්ප්‍රතිශ්‍යාවකදී ඔබ විදෙස් ගත වී සිටින විට බෙහෙත් ගැනීමට යම් අපහසුතා පවතින නිසා තමන්ට ම කැස්ස පැණියක් සාදා ගැනීමට මී පැණි යොදා ගත හැකි ය. මේ සඳහා වැල් දෙහි ගෙඩියක් විනාඩි දහයක කාලයක් තම්බා ගත් යුෂයට ග්ලිසරින් ත‌ේ හැඳි දෙකක් සහ මී පැණි ත‌ේ හැන්දක් දමා දිය යුතු ය. වැල් දෙහි ගෙඩියක් සපයා ගැනීමට නොහැකි අයට ඒ සඳහා ඇපල් සයිඩර් විනාකිරි විකල්පයක් වශයෙන් භාවිතා කළ හැකි වේ. මා අනුමත කරන මාත්‍රාව වරකට උපරිම ත‌ේ හැන්දකි. මේ අත් බෙහෙත දින තුනක් පමණ භාවිතා කිරීම ප්‍රමාණවත් ය. _______________________________ මීට අමතරව මී පැණි පාචනය වැළැක්වීමට ය‌ොදා ගත හැකි ය. මී පැණි නිවැරදිව භාවිතා කර ඇස් පෙනීම වැඩිදියුණු කර ගත හැකි ය. මී පැණි සාර්ථක ළදරු ආහාරයක් වන අතර ( මේ වන විට එක්තරා සෞඛ්‍යාරක්ෂක හේතුවක් නිසා අවුරුද්දට අඩු දරුවන්ට ලබා දෙන්නේ නැත. ) සෙම්ප්‍රතිශ්‍යාව හ‌ෝ පීනස නිසා වන නාස් අවහිරවීම්, පිළිස්සුම් තුවාල, අධික තරබාරුව, ( උදේ හිස්බඩ ඇල්වතුර වීදුරුවකට මී පැණි ත‌ේ හැන්දක් දමා බොන්න. ) සමේ ඇති ලප කැළැල් ඉවත් කිරීමට, අර්ශස් සඳහා, නහර ගැට ගැසීම සඳහා, කකුල් හිරිවැටීම් සහ මස්පිඬු පෙරලීම් සඳහා මෙන්ම ක්‍රීඩකයන් සඳහා ආරක්ෂාකාරී ශක්ති ජනක ආහාරයක් ලෙස ආදී වශයෙන් බොහෝ පරාසයකට මී පැණි සාර්ථක ව භාවිතා කළ හැකි ය. විශේෂයෙන් ම පෙනහළු පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර වලදී මා මී පැණි සාර්ථකව යොදා ගෙන ඇත. තාලිසාදී චූර්ණය නැමැති ද‌ේශීය ඖෂධය පෙනහළු දුර්වලතා සඳහා සාර්ථක ඖෂධයකි. මේ ඖෂධය භාවිතා කිරීමෙන් දීර්ඝකාලීනව ඉන්හේලර් ආදිය භාවිතා කරන රෝගීන්ව සුවපත් කළ හැකි ය. එම ඖෂධය ත‌ේ හැන්දක් මී පැණි ත‌ේ හැන්දක් සමඟ දිනකට දෙවරක් ලබා දීම එහිදී සිදු කෙරේ. ද‌ේශීය ඖෂධ ප්‍රය‌ෝගයන් හි මී පැණි භාවිතයෙන් මරණාසන්න ර‌ෝගීන් පවා නැවත සුවපත් කිරීමේ ක්‍රමවේද පවතී. ගැමි වෙදකම තුළ මී පැණි වර්ග විවිධ අවස්ථාවලදී සුදුසු පරිදි භාවිතා වනු දැකිය හැකි වේ. මා සතුව ද විවිධ මී පැණි වර්ගවල එකතුවක් පවතින අතර එය මී පැණි වර්ග විස්සකින් පමණ සමන්විත වේ. _______________________________ මී පැණි භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ලංකාවේ ඇතැම් මී පැණි වල පිරිසිදු භාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳ ව ගැටලු පවතී. අපිරිසිදු පැරණි මී පැණි වල මිනිස් ජීවිතයකට හානි කළ හැකි බැක්ටීරියා පවතී. කැලයෙන් මී වද කඩා ගෙන එන අය පවා අපිරිසිදු භාජන වලට ඒවා දමා බෝතල් කිරීම දැකිය හැකි සුලබ සිද්ධියකි. අනෙක් අතට ව්‍යාජව ගොරකා සහ සීනි යොදා මී පැණි සාදන ක්‍රමයක් පවතී. එම මී පැණි ව්‍යාජ මී පැණි යැයි සෙවීම ඉතා ම අපහසු ය. මේ නිසා මී පැණි මිලට ගැනීමේදී සැලකිලිමත් විය යුතු ය. මේ හේතූන් නිසා වාණිජ වශයෙන් මී පැණි මිලට ගැනීමේදී ඔස්ට්‍රේලියාවෙන් මී පැණි ආනයනය කිරීමට ඇතැම් සමාගම් කටයුතු කරනු දැකිය හැකි වේ. විද‌ේශයක සිටින ඔබට නවසීලන්තයේ මනුකා වැනි ඖෂධීය මී පැණි වර්ගයක් භාවිතා කළ හැකි ය. යුරෝපා රටවල මී පැණි වලට වඩා නවසීලන්ත මී පැණි ඖෂධීය ගුණයෙන් අධික බව මාගේ අත්දැකීම යි. මනුකා මිලට ගන්නේ නම් එහි යූ එම් එෆ් අගය පිළිබඳ ව සහ එම් ජී ඔ් අගය පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. අඩු තරමේ යූ එම් එෆ් අගය විස්සට වඩා ද එම් ජී ඔ් අගය අටසීයට වඩා ද තිබීම හොඳ ය. ඇතැම් සුවිශේෂී මනුකා මී පැණි ග්රෑම් දෙසිය පණහක් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂය ද ඉක්මවා අලෙවි වන තැනට ඔවුන් වෙළඳපල නිර්මාණය කරගෙන තිබේ. එය එක් අතකින් කැලෑ මී පැණි බහුලව තිබුන ද එයින් පල ලැබීමට නොදන්නා ලාංකික අපට පාඩමකි. _______________________________

1114