ලෝලු

  • 0
  • 1 year ago
  • Views : 353
  • ID : #4341

Description

? උද්භිද ව්ද්‍යාත්මක නාමය = Cordia dichotoma forst උද්භිද ව්ද්‍යාත්මක කුලය = Boroginaceae ව්‍යවහාර අංග = කොළ , මල්, ගෙඩි, එකසේ ආයුර්වේදයේදී භාවිතා වේ. අම්ල පිත්තයට අම්ලපිත්තය නම්න් ආයුර්වේදයෙදී හැඳින්වෙන ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය සඳහා ලෝලු ගසේ පොත්ත ගලවා පිට සුඹුල හැර කෑලිවලට කපා, වනේ දමා කොටා එහි යුෂ ලීටරයක්‌ පමණ ගෙන උදේ හවස අඬු කෝපියක් බැගින් පානය කිරීමෙන් අත්දුටු ප්‍රතිඵල ගෙන දේ. හොරි දද කුෂ්ඨ වලට අතිශය ව්‍යාකූළ ආහාර රටාව නිසා වැළඳෙන අම්ලපිත්තයට පමණක් නොව, සිරුරේ ඕනෑම තැනක ඇතිවූ කල් ගිය ඔඩු දුවන ලද තුවාල, දද කුෂ්ට සුව කරන්නට සේම ලේවල විෂ නසන්නටත්, සිරුරේ තැන්පත් මේදය දිය කර හරින්නටත්, දියවැඩියා රෝගයටත් ලෝලු පොතු, කොළ, මල්, ගෙඩි මනා ගුණ දෙන බෙහෙතකි. එමෙන්ම ලෝලුවල වාජීකරණ ගුණයකුත් ද අන්තර්ගතය. ලෝලු ගසේ පොතු කැඩුම් බිඳුම් වෙදකමේ වෙලුම් පටි ලෙස කලකට ඉහත භාවිත කළේය. ලෝලු ව්‍යාංජනය ලෝලු දලු ඇඹුලට හදාගත් විට කදිම ව්‍යාංජනයකි. අලකොළ ව්‍යාංජනය පිළියෙළ කරන ආකාරයට සකසා ගත හැකිය. ලෝලු මල් ව්‍යාංජනයට සකසා ගත හැකිය. මුංඇට ව්‍යාංජනය සකසා ගන්නා ආකාරයට එය සකසා ගත හැකිය. මෙම රසවත් ව්‍යාංජන පැරැන්ණෝ නිරතුරුව සිය ආහාරයට එක් කරගත්හ. ගැමියෝ පතරාජ, පතරංග යන නම්වලින් ද ලොලු හඳුන්වති. මාර්තු අප්‍රේල් මාස වලදී ලා රෝස පාටට හුරු කුඩා ඉදුණු ගෙඩි වලින් පිරී යන ලෝලු, ලංකාවේ ශුෂ්ක සහ අර්ධ ශුෂ්ක පළාත්වල ඉබේ වැවෙන ශාකයකි. ඉංග්‍රීසියෙන් Indian Cherrry ලෙස හඳුන්වන අතර ලෝලු ගෙඩිවල පැහැදිලිව දැකි හැකි විශේෂත්වයක්‌ වන්නේ එහි මදය ඇලෙන සුලු ජෙලටීනමය ස්‌වරූපයක්‌ ගැනීමය. ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව සහ මියන්මාරය වැනි රටවවල සාම්ප්‍රදායික ජනතාව තවමත් ලෝලු ගසේ මල්, කොළ, ගෙඩි, සහ පොතු ආහාර වශයෙන් සහ ඖෂධ වශයෙන් භාවිතයට ගනිති. ශ්‍රී ලංකාවේ ද ඇතැම් පළාත්වල ජනතාව කලාතුරකින් මෙම ගසේ දලු සහ මල් ව්‍යාංජනයක්‌ හා ඉදුණු ගෙඩි පලතුරක්‌ ලෙස ගන්නා අතර ඇතැම් පාරම්පරික සිංහල වෛද්‍යවරු මෙම ගස ඖෂධයක්‌ ලෙස ප්‍රයෝජනයට ගනු ලබති. මධ්‍යම තායිලන්ත ප්‍රාන්තයක්‌ වන ප්‍රා නෙක්‌හොන් සි අයුත්තායා හි ප්‍රාන්ත ගස ලෙස සැලකෙන්නේ ලෝලු ගසය. මියන්මාරයේ පාවෝ ජාතිකයන් අතර මෙම ගසේ දලු ව්‍යාංජනය බෙහෙවින්ම ප්‍රචලිතය. මෙම ශාකය සතු ඖෂධීය සහ පෝෂණ ගුණ පිළිබඳ නූතන පර්යේෂණ වලින් හෙළිදරව් කෙරෙන තොරතුරු අප මවිත කරවන සුලුය. පෝෂණ ගුණය ලෝලු, වටිනා ශාක රසායනික වර්ග රාශියක්‌ අඩංගු ඉතාම පෝෂණීය ආහාරයක්‌ වෙයි. විශේෂයෙන් මෙහි ඇටවල ඉතාම දුර්ලභ සහ වටිනා මේද අම්ල සහ ඇමයිනෝ අම්ල (ප්‍රොටීන) කිහිපයක්‌ම අඩංගු වෙයි. මෙම පලතුර සහ පත්‍ර ඛනිජ ලවණවලින් පොහොසත්ය. විශේෂයෙන් දුර්ලභ ඛනිජ ලවණයක්‌ වන ක්‍රෝමියම් අඩංගුයි .බැවින් දියවැඩියා රෝගීන්ට බෙහෙවින්ම හිතකරය. කෙසේ වෙතත් ඉදුණු ලෝලු ගෙඩිවල ප්‍රතිපෝෂක අඩංගු වන බැවින් ප්‍රධාන ආහාර වේලකට පැයකට පෙර හා පසුව ලෝලු පලතුරක්‌ ලෙස ගැනීම සුදුසුය. ප්‍රභල ප්‍රතිජීවකයකි. වේදනා නාශකයකි... ලෝලු සාරය සතු තුවාල සුව කිරීමේ ගුණය මෙන්ම, එය සතු පුළුල් පරාසයක පැතිරුණු රෝග කාරක ක්‌ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ ගුණයත්, වේදනා නාශක ගුණයත් මීයන් ඇසුරින් සිදු කෙරී ඇති පර්යේෂණ වලින් සනාථව ඇත. ආහාර මාර්ග පද්ධතිය තුළ හට ගන්නා තුවාල සහ කල් ගිය වන සුව කිරීමේ හැකියාවක්‌ සහ අල්සර් සහ කොලික්‌ පේන් (ulcers and colic pain) තත්ත්වයන් නිසාවෙන් ගර්භාෂයේ, පිත්තාශයේ සහ උදරයේ හට ගන්නා දරුණු වේදනාවන් සමනය කරන්නටත් ලෝලු හොඳ ප්‍රතිකාරයක්‌ බව තවත් පර්යේෂණයකින් හෙළි වී ඇත. මෙහි අන්තර්ගත වන ඇපිජෙනින් (Apigenin) වැනි ශාක රසායන සංඝටකවල බලපෑමෙන් මෙය සිදු වන බව විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. තරුණ බව රැක දෙයි. ලිංගික ශක්‌තිය වැඩි කරයි... අපගේ සිරුර තුළ නිපදවෙන නිදහස්‌ මුක්‌ත ඛණ්‌ඩක පාලනය නොකළොත්, අපව ඉක්‌මනින්ම වියපත් කිරීම සඳහාත්, වියපත්භාවය හා සම්බන්ධ ඔස්‌ටියෝ ආතරයිටිස්‌, ඇල්සයිමර්ස්‌, හෘදයාබාධ, දියවැඩියාව, පෙනීමේ ආබාධ, පිළිකා වැනි රෝග තත්ත්වයන් හට ගැනීම ඉක්‌මන් කිරීමටත් එය ඉවහල් වෙයි. ලෝලු පත්‍ර සහ ඇටවල සාරයෙහි අඩංගු වන ප්‍රබල ස්‌වාභාවික ප්‍රතිඔක්‌සිකාරක සතුව ඇති නිදහස්‌ මුක්‌ත ඛණ්‌ඩක විනාශ කිරීමේ හැකියාව නිසාවෙන් තරුණ බව දිර්ඝ කාලයක්‌ පවත්වා ගැනීමටත්, පෙර කී රෝගාබාධවලින් වැළකී සිටින්නටත් ඉමහත් පිටිවහලක්‌ ලැබෙන බව සොයාගෙන ඇත. ලෝලු පත්‍රවල මෙම හැකියාව සාපේක්‌ෂව වැඩි බව ද හෙළි වී තිබේ. එමෙන්ම ලෝලුවල ලිංගික ආශාව වැඩි කරන වාජීකරණ ගුණයක්‌ ද තිබෙන බව තහවුරුව තිබේ. මොළය රැක දෙයි... දිර්ඝ කාලයක්‌ තිස්‌සේ මොළයට සැපයෙන ඔක්‌සිජන් සහ පෝෂක කොටස්‌ අඩු වීම නිසාවෙන් මොළයේ ඇති වන ආබාධ තත්ත්වයන් පාලනය කිරීමට ලෝලු සාරයට හැකියාවක්‌ තිබෙන බව සොයාගෙන ඇත. ඉගෙනීමේ හැකියාව වැඩි කරන්නටත්, මොළයේ මනා ක්‍රියාකාරිත්වය සඳහාත් ලෝලු ආහාරයට ගැනීම ඉවහල් විය හැකි බව ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් පාර්මසූටිකල් රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට්‌ වෙබ් අඩවියේ පළ වූ පර්යේෂණ පත්‍රිකාවක සඳහන්ය. අහිතකර කොලෙස්‌ටරෝල් වලින් බේරෙන්නට... අධික තෙල් සහිත ආහාර ගැනීම නිසා දේහ බර වැඩි වේ. රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් සහ අඩු ඝණත්ව ලිපො ප්‍රෝටීන් (අහිතකර කොටලෙස්‌ටරෝල්) වැඩි වී, හිතකර කොලෙස්‌ටරෝල් අඩු වෙයි. දරුණු හදවත් රෝගවලට හේතු වන, හයිපර්ලිපිඩීමියා (hyperlipidemia‌) යන නමින් හඳුන්වනු ලබන මෙම තත්ත්වය ඇතැම් උදවියට ජානමය හේතු නිසාවෙන් ද හට ගනී. ලෝලුවල සුලභව තිබෙන දල තන්තු, පොලිනොලික සංඝටක, ටැනින් වර්ග සහ විශේෂයෙන් ඉදුණු ලෝලු ගෙඩි වල තිබෙන ඇලෙන සුලු පදාර්ථ නිසාවෙන් අහිතකර කොලෙස්‌ටරෝල් අඩු කරන්නටත්, හිතකර කොලෙස්‌ටරෝල් වැඩි කරන්නටත් සුවිශේෂී හැකියාවක්‌ ලැබී තිබෙන බව පර්යේෂණ වලින් හෙළි වී ඇත. තවද ලෝලු ආහාරයට ගත් මීයන්ගේ බර වැඩි වීම පාලනය වී තිබුණු බවද මෙම පර්යේෂණවලින් වැඩි දුරටත් හෙළි වී ඇත. දරුණු අක්‌මා රෝගවලින් බේරෙන්නට... ඇල්කොහොල් භාවිතය, අක්‌මාව තුළ මේදය තැන්පත් වීම සහ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ලබා ගන්නා ඖෂධ සහ වස විස රසායනික ද්‍රව්‍යයන් නිසාවෙන් අක්‌මාවට හානි සිදු වීම නිසාවෙන් දරුණු අක්‌මා පිළිකා පවා ඇති විය හැකිය. හානි වූ අක්‌මාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ඖෂධයක්‌ වන සිලිමරීන් ඖෂධයට සමාන අක්‌මාව රැක ගැනීමේ ලක්‌ෂණ ලෝලු සාරය සතුව ද තිබෙන බව සොයාගෙන ඇත. ලෝලු ගෙඩි සහ පත්‍ර සාරය ලබා දීමෙන් ගැබ් ගැනීම වැළැක්‌විය හැකි බවට මීයන් ඇසුරෙන් කර ඇති පර්යේෂණ වලින් සනාථ වී ඇත. දැනට භාවිත කෙරෙන කෘත්‍රිම හෝර්මෝනමය උපත් පාලන ක්‍රම වල දී මෙන් නොව, ලෝලු පත්‍ර සාරය ලබාදීම අත්හිටුවීමෙන් පසු නැවත ස්‌වාභාවික ලෙස ගැබ් ගැනීම කිසිදු පමාවකින් තොරව සිදු වන බව බ්‍රසීලියන් ජර්නල් ඔෆ් පාර්මොකොග්නොසිස් වෙබ් අඩවියේ පළ කෙරී තිබෙන එකී පර්යේෂණ පත්‍රිකාවෙ සඳහන් ය. දැනට උපත් පාලනයේ දි භාවිත කෙරෙන මිල අධික සහ අතුරු ආබාධ සහිත ඇතැම් උපත් පාලන ක්‍රම වලට වඩා මෙම ස්‌වාභාවික ශාක සාර ආශ්‍රයෙන් සිදු කළ හැකි උපත් පාලන ක්‍රම පිළිබඳ විද්‍යාඥයන්ගේ අවධානය දැන් දැන් යොමු වෙමින් තිබේ. මෙකී කාරණාව නිසා ගර්භනී බව පතන ස්‌ත්‍රීන් සහ ගර්භනී සමයේ මුල් මාස තුනේ පසු වන ස්‌ත්‍රීන් ලෝලු අනුභවයෙන් වැළකී සිටීම මැනවි. මීට අමතරව දියවැඩියා රෝගයට, කැස්‌ස, හතිය වැනි රෝග වලට දාහය සහ ඌෂ්ණ රෝගවලින් සහනයක්‌ ලබන්නටත් ලෝලු උපකාර වන බව පැවසේ. මේ දිනවල පවතින සැඩ හිරු කිරණින් බේරෙන්නට ලෝලු මල් අඹරා මීකිරි සමග මිශ්‍ර කර සම මත දිනකට දෙවතාවක්‌ ගැල්වීම ඉන්දියානුවන් අතර භාවිතයට ගැනෙන ප්‍රතිකාරයකි. බටහිර පර්යේෂණාගාරවල මීයන් ඇසුරින් කෙරෙන පර්යේෂණවලින් තහවුරු වන්නට පෙර ලෝලුවල මහා ගුණ අසිරිය ගැන අපේ ඇත්තෝ ප්‍රත්‍යක්‌ෂයෙන් දැන සිටියහ.

1114