ආයුර්වේද වෙදකම සහ පාරම්පරික වෙදකම

  • -
  • 1 year ago
  • Views : 751
  • ID : #7251

Description

? ආයුර්වේදය යනු මිනිසුන්ගේ ආයුෂ වැඩි කරන විද්‍යාවයි. මෙය බිහි වී ඇත්තේ දේව සංකල්පයෙනි. උතුරු ඉන්දීය සම්භවයක් ඇති ආයුර්වේදය උසස් සෘෂිවරුන්ගෙන් පැවත එන්නකි. අග්නිවේෂ නම් සෘෂිවරයා මෙය ග්‍රන්ථාරූඪ කර තිබේ. චරක, ශුෂ්රුත, වාග්භට වැනි සෘෂිවරුන් ඉන් පසු බිහි වී තිබෙන බව පැවසේ. සෘග්, චතුර් යනාදී වශයෙන් හැඳින්වෙන වේද ග්‍රන්ථවල ආයුර්වේදය ගැන සඳහන් වේ. චරක පඬිවරයා ශල්‍ය වෛද්‍ය අංශයත් ශුෂ්රුත පඬිවරයා රෝග අංශයත් සම්බන්ධව සිටි බවයි එම ග්‍රන්ථවල සඳහන් වන්නේ. ආයුර්වේදයේ ඖෂධ බිහිවන්නේ මූලිකවම ගස්, වැල් පදනම් කර ගෙනය. එමෙන්ම ආයුර්වේදය කොටස් අටකට බෙදා තිබේ. මේ නිසා අෂ්ටාංග ආයුර්වේදය නමින් ද මෙය හැඳින්වේ. ඒවා නම්, කාය චිකිත්සා, ශල්‍ය චිකිත්සා, ශාලාක්‍ය චිකිත්සාව, කුමාර චිකිත්සාව (ළදරුවකුගේ උපතේ පටන් ළදරුවාගේ පෝෂණය හා ඔහුට ඇති වන රෝග සඳහා වූ චිකිත්සාව), අගද තන්ත්‍රය, විස චිකිත්සාව, භූත විද්‍යා තන්ත්‍රය, රසායන තන්ත්‍රය, වාජීකරණ තන්ත්‍රයය. ආයුර්වේදය විද්‍යාත්මකය. රෝගයක් ඇති වන ආකාරය, රෝගයක් ඇති වන‍්නේ කුමක් හේතුවෙන් ද, රෝගයේ මූලික ලක්ෂණ, රෝගය ඇති වීමට පෙර සහ පසු ලක්ෂණ ආදි වශයෙන් රෝග නිධානයේ සිට ප්‍රතිකාර දක්වා ‍ආයුර්වේදයේ සඳහන් වේ. ලෝකයම පිළිගත් ආයුර්වේද පොත් පත් ඉන්දියාවේ තිබෙන අතර පැළෑටි හා ගස් වැල් මෙන්ම ජ්‍යෝතිෂය සහ ගුප්ත විද්‍යාව ද මෙයට සම්බන්ධ වේ. එමෙන්ම පාෂාණ ඇතුළු ඛනිජ ලවණ ද මෙයට ඇතුළත් වන බව පැවසේ. සිංහල වෙදකම, හෙළ වෙදකම, පාරම්පරික දේශීය චිකිත්සාව, පාරම්පරික වෙදකම යනාදී වශයෙන් හඳුන්වනු ලබන වෙදකම ශ්‍රී ලංකාවට පමණක් ආවේණිකය. මෙම වෙදකම පුලස්ති සෘෂිවරයාගේ සිට රාවණාගෙන් පැවත ආ බවයි ඉතිහාසයේ සිටම විශ්වාසය පළ වන්නේ. මේ සඳහා පුරාවිද්‍යාත්මක සාක්ෂි දක්නට නොලැබුණ ද රාවණා විසින් ලියන ලද පොත් පත් මේ සඳහා සාක්ෂි දරයි. උඩ්ඩිස තන්ත්‍රය, කුමාර තන්ත්‍රය මෙයට උදාහරණයන්ය. හෙළ‍ වෙදකම පැවත එන්නේ පාරම්පරිකවය. කට වචනයෙනි. පුස් කොළ පොත් ද, තඹ පත් ඉරු ද, රිදී පත් ඉරු ද තිබේ. මේවා බෙහෙත් වට්ටෝරු ලෙස පවතින අතර මෙහි විද්‍යාත්මක පැහැදිලි කිරීම් හෝ රෝග නිධාන ගැන පැහැදිලි වන්නේ නැත. එහෙත් ආයුර්වේදයේ සෑම රෝගයක් ගැනම පිළිවෙළින් සඳහන් වේ. සිංහල වෙදකම, හෙළ වෙදකම හෝ පාරම්පරික වෙදකම සහ ආයුර්වේදයේ වෙනස මෙයය. එහෙත් ආයුර්වේදයේ මූලික සංකල්ප, ත්‍රිදෝෂ වන වා, පිත්, සෙම්, සප්ත ධාතු (රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මඣ්ජා, ශුක්‍ර) සහ පංච මහා භූතයන් (ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ්) ද දේශීය වෙදකම හා සම්බන්ධ වී තිබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව හෙළ වෙදකම ලෙස සලකන්නේ ආයුර්වේදයේ කොටස් කැඩී ගොස් සැදී ඇති වෙදකමක් බවය. පාරම්පරික වෙදකම තුළ ඒ ඒ පරම්පරාවට ආවේණික ඖෂධ තිබේ. එම බෙහෙත් සාදන ආකාරය ද එකිනෙකට වෙනස්ය. මේ නිසා ඇතැම් විට ආයුර්වේද වෙදකමට වඩා පාරම්පරික වෙදකම ප්‍රතිඵලදායක විය හැකිය. මෙම වෙදකම ශ්‍රී ලංකාවට ආවේණික වන අතර පොත්පත්වල ද සඳහන් නොවේ. බොහෝ විට මුඛ පරම්පරාවෙන් මෙය ආරක්ෂා වන අතර පරම්පරාවෙන් පරම්පරාවට පැවත එයි. පරම්පරාව ගෙන යෑමට කෙනෙකු නොසි‍ටිය හොත් එය එතැනින් අවසන් වීමට හෝ පුළුවන. පරම්පරාවෙන් බාහිරව දීමට අවසරයක් නොලැබේ. පාරම්පරික වෙදකම තුළ ආයුර්වේදයේ නැති සුවිශේෂි ක්‍රම ඇතුළත් වී තිබේ. එහෙත් බොහෝ පුස් කොළ පොත් විනාශ වී ගොස් ඇති අතර මෙරට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඒවායෙන් කොටසක් රැගෙන ගොස් ඇති බව ද කියැවේ. පාරම්පරික වෙදකම පිහිටන්නේ ‍පියා විසින් පුතාට ඒවා ලබා දුන් විටය. මේවා ද මන්ත්‍රයන් වැනිය. ඒවා ලබා දීමේ ක්‍රම ද මෙහි තිබේ. එතුළ වතාවත් කිරීම් ද ඇතුළත් වන අතර ඇතැම්හු හෙළ වෙදකම අවභාවිත කරති. සාමාන්‍ය ජනතාව මුලාවට පත් කිරීම් ද අද වන විට දක්නට ලැබේ. හෙළ වෙද පරම්පරා ගත් විට ඒවා ද වර්ග කිහිපයකි. කැඩුම් බිඳුම් වෙදකම, විස වෙදකම, තුවාල, පිලිස්සුම්, ගෙඩි වෙදකම යනාදි වශයෙනි. එක පරම්පරාවක් විසින් එක වෙදකමක් ප්‍රගුණ කොට තිබීම විශේෂත්වයකි.

1114